ගීතාවලිය 99

ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා.
2 ස්වාමීන්වහන්සේ සියොන්හි උතුම්ය; උන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා උසස්ය.
3 ඔව්හු ඔබගේ උතුම්වූ භයංකරවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; උන්වහන්සේ ශුද්ධසේක.
4 රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රියවෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදුකරන්නේ ඔබය.
5 අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ පාපුටුව වෙත නමස්කාරකරව්. උන්වහන්සේ ශුද්ධසේක.
6 උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.
7 උන්වහන්සේ වලා ටැඹින් ඔවුන්ට කථාකළසේක. ඔව්හු උන්වහන්සේගේ ශික්ෂා හා ඔවුන්ට දුන් පනත පැවැත්වූවෝය.
8 අපේ දෙවිවූ ස්වාමිනි; ඔබ ඔවුන්ට උත්තරදුන්සේක. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලට පළිගත් නුමුත්, ඔවුන්ට කමාව දුන් දෙවිකෙනෙක් වූසේක.
9 අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ශුද්ධසේක.