ගීතාවලිය 6

ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව, ඔබගේ තද කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව.
2 ස්වාමිනි, මම මැලවී සිටිමි; එබැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ; එබැවින් මා සුවකළ මැනව.
3 මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද?
4 ස්වාමිනි, හැරී මාගේ ප්‍රාණය නිදහස්කළමැනව. ඔබගේ කරුණාව නිසා මා ගැළවුවමැනව.
5 මක්නිසාද මරණයේදී. ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී. ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද?
6 මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි.
7 මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි.
8 අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක.
9 ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක.
10 මාගේ සියලු සතුරෝ ලජ්ජාවට පැමිණ බොහෝසෙයින්ම කැලඹෙන්නාහුය. ඔව්හු පසුබටව හදිසියෙන් ලජ්ජාවට පැමිණෙන්නාහුය.