ගීතාවලිය 137

බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව,--එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව.
2 එහි මැද නළාගස්වල අපේ වීණා එල්ලා තැබීමුව.
3 මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කිවුය.
4 අන්‍ය දේශයකදී ස්වාමීන්ගේ ගීය කෙසේ ගායනා කරමුද?
5 එම්බා යෙරුසලම, ඔබ මට සිහිනැතිවී නම්. මාගේ දකුණු අතට ඒකේ හුරුකම සිහිනැතිවේවා.
6 මම ඔබ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.
7 බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව.
8 විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, ඔබ අපට කළාක්මෙන් ඔබට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය.
9 ඔබේ ළදරුවන් රැගෙන ගලේ ගසන තැනැත්තේ වාසනාවන්තවන්නේය.