ගීතාවලිය 43

දෙවියන්වහන්ස, මා විනිශ්චයකොට, අභක්තික ජාතියකට විරුද්ධව මා උදෙසා කාරණා කිව මැනව. කපටිවූ අසාධාරණවූ මනුෂ්‍යයාගෙන් මා මුදාගත මැනව.
2 මක්නිසාද ඔබ මාගේ ශක්තියවූ දෙවියන්වහන්සේය; කුමක් නිසා ඔබ මා පහකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්ද?
3 ඔබගේ එළියත් සැබෑකමත් එවුව මැනව; ඒවා මා ගෙනයෙත්වා. ඒවා ඔබගේ ශුද්ධවූ කන්දටත් ඔබගේ මණ්ඩපවලටත් මා පමුණුවත්වා.
4 එවිට මම දෙවියන්වහන්සේගේ පූජාසනය ළඟට, එනම් මාගේ අධික ප්‍රීතියවූ දෙවියන්වහන්සේ වෙතට, යන්නෙමි. දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, වීණාවෙන් ඔබට ප්‍රශංසාකරන්නෙමි.
5 එම්බා මගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.