ගීතාවලිය 122

ස්වාමීන්ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.
2 එම්බා යෙරුසලම, අපේ පාද ඔබේ දොරටු ඇතුළේ තබා තිබේ.
3 එම්බා යෙරුසලම, මනාකොට සෑදූ නුවරක් මෙන් ඔබ ගොඩනගනලද්දීය.
4 ගෝත්‍රයෝ, ස්වාමීන්ගේ ගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන්ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති.
5 මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ.
6 යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්. ඔබට ප්‍රේමකරන්නෝ දියුණුවන්නෝය.
7 ඔබේ පවුරු ඇතුළත සමාදානයත් ඔබේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා.
8 මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා: ඔබ ඇතුළේ සමාදානය වේවයි කියමි.
9 අපේ දෙවිවූ ස්වාමීන්ගේ ගෘහය නිසා ඔබේ යහපත සොයන්නෙමි.