ගීතාවලිය 130

ස්වාමිනි, ගැඹුරු තැන්වල සිට ඔබට මොරගැසීමි.
2 ස්වාමිනි, මාගේ ශබ්දය ඇසුව මැනව. මාගේ කන්නලව් ශබ්දයට ඔබගේ කන් යොමුවේවා.
3 ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?
4 නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.
5 මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
6 අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි.
7 එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද ස්වාමීන් වෙත දයාව ඇත්තේය, උන්වහන්සේ වෙත බොහෝසෙයින් මිදීමද ඇත්තේය.
8 උන්වහන්සේ ඉශ්‍රායෙල් ඔහුගේ අයුතුකම් සියල්ලෙන් මුදා හරිනසේක.