ගීතාවලිය 37

නපුරකරන්නන් නිසා කල නොකිරෙව, අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව.
2 මක්නිසාද ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය.
3 ස්වාමින් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.
4 ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.
5 ඔබගේ මාර්ගය ස්වාමීන්ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.
6 උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක.
7 ස්වාමීන් 37:7 හෙවත්, ස්වාමීන් තුළ නිශ්චලව සිට. කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කල නොකිරෙව.
8 තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.
9 මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නනෝය. නුමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය.
10 මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, ඔබ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.
11 නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.
12 දුෂ්ටයා ධර්මිෂ්ඨයාට විරුද්ධව උපා යොදමින් ඔහුට විරුද්ධව දත්මිටිකයි.
13 ස්වාමීන්වහන්සේ ඔහුට සිනාසෙනසේක. මක්නිසාද ඔහුගේ දවස පැමිණෙන බව උන්වහන්සේට පෙනෙයි.
14 දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.
15 ඔවුන්ගේ කඩුව ඔවුන්ගේම හෘදයට ඇතුල්වන්නේය. ඔවුන්ගේ දුනුද බිඳිනු ලබන්නේය.
16 බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා ධර්මිෂ්ඨයාට ඇති ස්වල්පය යහපත.
17 මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක.
18 භක්තිවන්තයන්ගේ. දවස් ස්වාමීන්වහන්සේ දන්නාසේක. ඔවුන්ගේ උරුමයද සදාකල් පවතින්නේය.
19 ඔව්හු විපත්ති කාලයේදී ලජ්ජා නොවන්නෝය. දුර්භික්ෂ දවස්වලදී තෘප්තියට පැමිණෙන්නෝය.
20 නුමුත් දුෂ්ටයෝ විනාශවන්නෝය, ස්වාමීන්ගේ සතුරෝද ගොදුරු. බිම්වල සාරවූ කොටස මෙන් වන්නෝය. ඔව්හු ක්ෂයවන්නෝය; දුම මෙන් සහමුලින්ම ක්ෂයවන්නෝය.
21 දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි.
22 මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය.
23 මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථිරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක.
24 ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරන සේක.
25 මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.
26 දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි.
27 නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව.
28 මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.
29 ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.
30 ධර්මිෂ්ඨයාගේ මුඛය ඥානය කථා කරයි, ඔහුගේ දිවද යුක්තිය කියයි.
31 ඔහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය; ඔහුගේ අඩිවලින් එකක්වත් නොලිස්සන්නේය.
32 දුෂ්ටයා ධර්මිෂ්ඨයා බලා රැක හිඳ ඔහු මරන්ට සොයයි.
33 ස්වාමීන්වහන්සේ ඔහුගේ අතට ඔහු අත් නාරිනසේක, ඔහු විනිශ්චයකරනු ලබන කල වරදට පත් නොකරනසේක.
34 ස්වාමීන් කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස උන්වහන්සේ ඔබ උසස්කරනසේක. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය.
35 දුෂ්ටයා ඉතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාලවෙනවා දුටිමි.
36 එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි, නුමුත් මට සම්බ නොවීය.
37 නිර්දෝෂ. තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.
38 අපරාධකාරයෝ එකට විනාශකරනු ලබන්නෝය; දුෂ්ටයන්ගේ දිවි. කෙළවර සිඳිනු ලබන්නේය.
39 නුමුත් ධර්මිෂ්ඨයන්ගේ ගැළවීම ස්වාමීන්ගෙන්ය. විපත්ති කාලයේදී උන්වහන්සේ ඔවුන්ගේ බලකොටුව වනසේක.
40 ස්වාමීන්වහන්සේ ඔවුන්ට පිහිටව, ඔවුන් මුදනසේක. ඔවුන් උන්වහන්සේ සරණගත් නිසා, උන්වහන්සේ ඔවුන් දුෂ්ටයන්ගෙන් මුදා ගළවනසේක.