ගීතාවලිය 124

ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,
2 මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,
3 ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු කල, ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.
4 එකල්හි ජලය අප වසාගන්නවා ඇත, දියපාර අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.
5 එකල්හි උඩඟු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.
6 ඔවුන්ගේ දත්වලට අප ගොදුරු කොට නුදුන් ස්වාමීන්ට ප්‍රශංසාවේවා.
7 පක්ෂි වැද්දන්ගේ උගුලෙන් පක්ෂියෙකු මෙන් අපේ ප්‍රාණය ගැළවුණේය. උගුල බිදී ගියේය, අපි ගැළවුණෙමුව.
8 අපේ උපකාරය අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගේ නාමය කෙරෙහිය.