ගීතාවලිය 54

දෙවියන්වහන්ස, ඔබගේ නාමය කරණකොටගෙන මා ගැළෙවුව මැනව, ඔබගේ බලයෙන් මට යුක්තිය කළ මැනව.
2 දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාව ඇසුව මැනව; මාගේ මුඛයේ වචනවලට කන්දුන මැනව.
3 මක්නිසාද විදේශීහු මට විරුද්ධව නැගිට සිටිති, බලාත්කාරකරන්නෝද මාගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවෝය. ඔව්හු තමුන් ඉදිරියෙහි දෙවියන්වහන්සේ තබා නොගත්තෝය.
4 බලව, දෙවියන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය. මාගේ ප්‍රාණය ආරක්ෂාකරන්නන් අතරේ ස්වාමීන්වහන්සේ සිටිනසේක.
5 උන්වහන්සේ මාගේ සතුරන්ගේ නපුරට විපාක දෙනසේක. ඔබගේ සැබෑකම නිසා ඔවුන් විනාශ කළ මැනව.
6 මම ස්වේච්ඡා පූජාවක් රැගෙන ඔබට පුදන්නෙමි. ස්වාමිනි, ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඒ යහපත්ය.
7 මක්නිසාද උන්වහන්සේ සෑම දුක්වලින් මා මිදූසේක; තවද මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසින් දුටිමි.