ගීතාවලිය 4

මාගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස, මා හඬගසන කල මට උත්තර දුන මැනව; විපත්තියේදී ඔබ මා මිදූසේක. මට කරුණකොට මාගේ යාච්ඤාව ඇසුව මැනව.
2 මනුෂ්‍ය පුත්‍රයෙනි, මාගේ ගෞරවය කොපමණ කල් අගෞරවයට පෙරළන්නහුද? ඔබ සැම කොපමණ කල් නිෂ්ඵල දේට ඇලුම්ව බොරුව සොයන්නහුද?
3 නුමුත් ස්වාමීන්වහන්සේ භක්තිවන්තයා තමන්ටම වෙන්කරගත් බව දැනගනිව්. ස්වාමීන්ට මා හඬගසන කල උන්වහන්සේ අසනසේක.
4 භයින් සිටිව්, පව් නොකරව්. යහනේදී ඔබ සැමගේ ම සිතින් විමසා නිශ්චලවව්.
5 ධර්මිෂ්ඨකමේ පූජා පුදමින්, ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබව්.
6 අපට යහපතක් දක්වන්නේ කවරෙක්දැයි බොහෝ දෙන කියති. ස්වාමිනි, ඔබගේ මුහුණේ එළිය අප කෙරෙහි බැබළෙවුව මැනව.
7 ඔවුන්ගේ ධාන්‍ය හා මුද්‍රිකපානය වැඩිවූ කල්හි ඔවුන්ට ඇති ප්‍රීතියට වඩා ඔබ මාගේ සිතේ ප්‍රීතියක් ලූසේක.
8 මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි. මක්නිසාද ස්වාමිනි, ඔබ මා උදක්ම සුවසේ වාසයකරවනසේක.