ගීතාවලිය 55

දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව්ව කෙරෙන් නොසැඟවුණ මැනව,
2 මා දෙසට කන් යොමා මට උත්තර දුන මැනව. සතුරාගේ ශබ්දය නිසාත්, දුෂ්ටයාගේ පීඩාව නිසාත්, මම කැලඹුණු සිතින් මැසිවිලි කියමින් කෙඳිරිගාමි.
3 මක්නිසාද ඔව්හු මා පිට අයුතුකම් පවරති, තරහෙන් මට පීඩාකෙරෙති.
4 මාගේ සිත මා තුළ තද වේදනා සහිත වෙයි. මරණ භීතිය මා පිට වැටී තිබේ.
5 භයත් වෙවුලුමත් මා කරා පැමිණ තිබේ, භයංකරය මා වසාගත්තේය.
6 මමද කථාකොට: අනේ මට කොබොයියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි.
7 බලව, එසේනම් මම ඈත පලාගොස්, වනයෙහි නවාතැන් ගන්නෙමි.
8 සැර හුළඟෙන්ද කුණාටුවෙන්ද ආරක්ෂා ස්ථානයකට ඉක්මන්කර යන්නෙමියි කීයෙමි.
9 ස්වාමිනි, නාස්තිකළ මැනව, ඔවුන්ගේ කථාව භේදකළ මැනව. මක්නිසාද නුවර බලාත්කාරයත් විවාදයත් දුටිමි.
10 ඔව්හු දිවා රාත්‍රි දෙක්හි ඒකේ පවුරු පිට ඔබ මොබ යති. අයුතුකමත් අපරාධයත් එහි මැද ඇත්තේය.
11 ඒ මැද දුෂ්ටකමත් ඇත්තේය. බලාත්කාරයත් වංචාවත් එහි වීථි වලින් ඉවත්ව නොයන්නේය.
12 මක්නිසාද මට නින්දාකළේ සතුරෙක් නොවේ; එසේ වූයේනම් මට ඉවසිය හැක්කේය. මට විපක්ෂව තමාම උසස්කරගත්තේ මට වෛරවූ තැනැත්තේ නොවේ; එසේ වූයේනම් මම ඔහු කෙරෙන් සැඟවී යන්නෙමි.
13 නුමුත් එසේ කළේ මා සමාන මනුෂ්‍යයෙක්වූ, මාගේ සමාගම්කාරයෙක්වූ, මාගේ හිතේසි මිත්‍රයෙක්වූ ඔබමය.
14 අපි එක්ව ප්‍රිය මන්ත්‍රණ පැවැත්වීමුව, සමූහයා සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සක්මන් කෙළෙමුව.
15 හදිසියෙන් ඔවුන්ට මරණය පැමිණේවා, ඔව්හු පණපිටින් වළට බසිත්වා. මක්නිසාද දුෂ්ටකම ඔවුන්ගේ වාසස්ථානයෙහි, ඔවුන් මැද, ඇත්තේය.
16 මම වනාහි දෙවියන්වහන්සේට යාච්ඤාකරන්නෙමි; එවිට ස්වාමීන්වහන්සේ මා ගළවනසේක.
17 සවස සහ උදයද දාවල්ද දුක් කියමින් සුසුම්ලන්නෙමි. උන්වහන්සේද මාගේ බස් අසනසේක.
18 මට විරුද්ධව පැමුණුණ සටනෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මුදා සමාදානය දුන්සේක. මක්නිසාද බොහෝ දෙනෙක්ම මට විරුද්ධව සිටියාහුය.
19 දෙවියන්වහන්සේ, එනම් පුරාණයේ සිට වැඩවසන තැනන්වහන්සේ අසා, විපරීති රහිතවූ, දේව භය නැත්තාවූ ඔවුන්ට උත්තරදෙනසේක.
20 ඔහු තමා සමඟ සමාදානයෙන් සිටි අයට විරුද්ධව අත් දිගුකෙළේය. තමාගේ ගිවිසුම කඩකෙළේය.
21 ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.
22 ඔබේ බර ස්වාමින් පිට තබව, උන්වහන්සේ ඔබ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.
23 නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.