ගීතාවලිය 146

ස්වාමීන්ට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසාකරව.
2 දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
3 අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.
4 ඔහුගේ හුස්ම නික්මයයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.
5 යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.
6 උන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූසේක; උන්වහන්සේ සදාකල්ම සත්‍යය පවත්වනසේක.
7 උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක; උන්වහන්සේ බඩගිනිවූවන්ට කෑම දෙනසේක. ස්වාමීන්වහන්සේ හිරකාරයන් මුදනසේක.
8 ස්වාමීන්වහන්සේ අන්ධයන්ගේ ඇස් පහදනසේක; ස්වාමීන්වහන්සේ නැමී ගියවුන් කෙළින් සිටුවනසේක; ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට ප්‍රේමකරනසේක;
9 ස්වාමීන්වහන්සේ විදේශීන් ආරක්ෂා කරනසේක; පියානැත්තා හා වැන්දඹුවට උන්වහන්සේ උපකාරකරනසේක; නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරනසේක.
10 එම්බා සියොන් නගරය, ස්වාමීන්වහන්සේ, එනම් ඔබේ දෙවියන්වහන්සේ, සදාකාලේටද සියලු පරම්පරා දක්වාද රජකම්කරනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.