යෙරමියා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52


පරිච්ඡේදය 34

බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ ආණ්ඩුව යටතේ තිබුණු පොළොවේ සියලු රාජ්‍යවල්ද සියලු ජනයන්ද යෙරුසලමට සහ ඊට අයිති සියලු නුවරවලටත් විරුද්ධව යුද්ධකරද්දී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
2 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ගොස් යූදාහි රජවූ ශෙදෙකියාට කථාකොට මෙසේ කියන්න- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජු අතට පාවාදෙමි, ඔහු ඒක ගින්නෙන් දවාදමන්නේය.
3 නුඹද ඔහුගේ අතින් නොගැළවී, සැබවින් අසුවී, ඔහු අතට දෙනු ලබන්නෙහිය; නුඹේ ඇස්ද බබිලෝනියේ රජුගේ ඇස් දකිනවා ඇත, ඔහුගේ මුඛයද නුඹේ මුඛය සමඟ කථාකරනවා ඇත, නුඹ බබිලෝනියට පැමිණෙනවා ඇත.
4 එහෙත් යූදාහි ශෙදෙකියා රජ්ජුරුවෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ නුඹ ගැන මෙසේ කියනසේක:
5 නුඹ කඩුවෙන් නොමැරී, සමාදානයෙන් නසින්ෙනහිය; නුඹට පළමුවෙන් සිටි ප්‍රථම රජවරුන් වන නුඹේ පියවරුන් ගැන පැවැත්තුවාවූ දැවීම් මෙන් නුඹ ගැනත් දැවීමක් පවත්වා: අහෝ ස්වාමිනි! කියා නුඹ ගැන විලාපකියනවා ඇත, මක්නිසාද ඒ වචනය කීවේ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6 බබිලෝනියේ රජුගේ සේනාවද යෙරුසලමටත් ඉතුරුව තිබුණු යූදාහි සියලුම නුවරවලටත් ලාකීෂ්ටත් අසේකාටත් විරුද්ධව යුද්ධකරමින් සිටි කල්හි,
7 අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචන යෙරුසලමේදී කීවේය; මක්නිසාද යූදා නුවරවල් අතරෙන් මේවා පමණක් බලකොටු නුවරවල්ව ඉතුරුව තිබුණේය. නිදහස ලත් දාසයන් වහල්කර ගැනීමට දඬුවම්
8 එක එකා විසින් තම තමාගේ හෙබ්‍රෙව් වැඩකාරයාත් තම තමාගේ හෙබ්‍රෙව් වැඩකාරීත් නිදහස්කර හැර, කිසිවෙක් තමාගේ සහෝදරයින් වන යූදාවරුන්වූ ඔවුන් යටත්කර නොගෙන සිටින හැටියට ඔවුන්ට නිදහස ප්‍රකාශකිරීමට,
9 ශෙදෙකියා රජු යෙරුසලමේ සිටි මුළු සෙනඟ සමඟ ගිවිසුමක් කළ පසු ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
10 එක එකා තම තමාගේ වැඩකාරයාද තම තමාගේ වැඩකාරීද තවත් යටත්කර නොගෙන ඔවුන් නිදහස්කර හරින හැටියට ගිවිසුමට ඇතුළත්වූ සියලු අධිපතීහුද මුළු සෙනඟද කීකරුවුණෝය; කීකරුවී ඔවුන් යන්ට හැරියෝය.
11 එහෙත් පසුව ඔව්හු හැරී තමුන් විසින් නිදහස්කර හැරිය වැඩකාරයන්ද වැඩකාරියන්ද නැවත ගෙනැවිත් වැඩකාරයන් සහ වැඩකාරියන් කොට බලාත්කාරයෙන් තබාගත්තෝය.
12 එබැවින් ස්වාමීන්වහන්සේගේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය.
13 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලාගේ පියවරුන් මිසර දේශය වන වහල්කමේ ගෙයින් ගෙනා දවසේදී ඔවුන් සමඟ ගිවිසුමක් කරමින්-
14 එක එකා තම තමාට විකුණනු ලැබ හය අවුරුද්දක් තමාට වැඩකළාවූ තමාගේ සහෝදරවූ හෙබේරවුවා අවුරුදු හතක කෙළවරේදී තමා වෙතින් නිදහස්කර හැරිය යුතුයයි කීවෙමි. එහෙත් නුඹලාගේ පියවරු මට ඇහුම්කන්දුන්නේවත් තමාගේ කන් යොමුකළේවත් නැත.
15 නුමුත් නුඹලා අලුතකදී හැරී, එක එකා තම තමාගේ අසල්වාසියාට නිදහස ප්‍රකාශකිරීමෙන් මාගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කොට, මාගේ නාමය තබා තිබෙන ගෘහයෙහි මා ඉදිරියේදී ගිවිසුමක් කළෝය.
16 එහෙත් නුඹලා හැරී මාගේ නාමය කෙලහමින්, තමුන්ගේ කැමැත්ත ලෙස යන්ට නුඹලා එක එකා නිදහස්කරහැරියාවූ තම තමාගේ වැඩකාරයාද වැඩකාරීද නැවත ගෙනැවිත්, නුඹලාට වැඩකාරයන්ද වැඩකාරියන්ද වීමට ඔවුන්ට බලාත්කාරකළහුය.
17 එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ අසල්වාසියාටත් නිදහස ප්‍රකාශකරන්ට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත. බලව, කඩුවටත් වසංගතයටත් සාගතයටත් අසුවීමට නුඹලාට මම නිදහස ප්‍රකාශකරමි; පොළොවේ සියලු රාජ්‍යයන් අතරෙහි නුඹලා ඔබමොබ විසිරයන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
18 මාගේ ගිවිසුම කඩකළාවූ, වස්සෙක් දෙපළුකොට ඒ පළු අතරෙන් ගොස් මා ඉදිරියෙහි කරගත් ගිවිසුමේ වචන ඉෂ්ට නොකළාවූ මනුෂ්‍යයන් වන
19 යූදාහි අධිපතීන්ද යෙරුසලමේ අධිපතීන්ද නපුංසකයන්ද පූජකයන්ද වස්සාගේ පළු අතරෙන් ගියාවූ දේශයේ මුළු සෙනඟද,
20 ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.
21 මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් නුඹලා වෙතින් අහක්ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවාදෙන්නෙමි.
22 බලව, මම අණකොට මේ නුවර කරා නැවත ඔවුන් ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලා, ගින්නෙන් දවාදමන්නෝය. වැසියෙක් නොසිටින ලෙස මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.