යෙරමියා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52


පරිච්ඡේදය 22

ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: නුඹ යූදාහි රජුගේ ගෙට බැස ගොස් එහිදී මේ වචනය කියන්න.
2 දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින යූදා රජ්ජුරුවෙනි, නුඹ සහ නුඹේ සේවකයෝද මේ දොරටුවලින් ඇතුල්වන නුඹේ සෙනඟද ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
3 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තියද ධර්මිෂ්ඨකමද කර, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න. විදේශියාටත් පියා නැත්තාටත් වැන්දඹුවටත් අයුත්තක්වත් බලාත්කාරයක්වත් මේ ස්ථානයෙහි නිදොස් වැගිරීමක්වත් නොකරල්ලා.
4 නුඹලා මේ දේ සැබවින්ම කළොත්, දාවිත් වෙනුවට ඔහුගේ සිංහාසනයෙහි හිඳින්නාවූ, රථවල සහ අශ්වයන් පිට නැගීයන්නාවූ රජවරු සහ ඔවුන්ගේ සේවකයෝද ඔවුන්ගේ සෙනඟද මේ ගෘහයේ දොරටුවලින් ඇතුල්වන්නෝය.
5 නුමුත් නුඹලා මේ වචන නෑසුවොත්, මේ ගෘහය පාළුවක් වන්නේය කියා මම මා ගැනම දිවුරමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
6 මක්නිසාද යූදාහි රජුගේ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ මට ගිලියද් සහ ලෙබනොන් මුදුන වාගේ නුමුත් සැබවින්ම මම නුඹ කාන්තාරයක්ද වැසියන් නැති නුවරවල්ද කරන්නෙමි.
7 මම නුඹට විරුද්ධව හැමදෙනාම තම තමාගේ ආයුධ ගත් විනාශකරන්නන් වෙන්කොට තබන්නෙමි. ඔව්හු නුඹේ අනර්ඝ කිහිරි ගස් කපා ගින්නෙහි දමන්නෝය.
8 බොහෝ ජාතීහුද මේ නුවර ළඟින් යමින්: ස්වාමීන්වහන්සේ මේ මහත් නුවරට මෙසේ කළේ මක්නිසාදැයි එකිනෙකාගෙන් අසනවා ඇත.
9 එවිට ඔව්හු උත්තරදෙමින්: ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාරකොට ඔවුන්ට සේවයකළ නිසායයි කියනවා ඇත.
10 මැරුණු කෙනෙකු ගැන නාඬන්න, ශෝක නොවෙන්න. අහක්ව යන්නාවූ අය ගැන තදින් අඬන්න; මක්නිසාද ඔහු තවත් හැරී නොඑන්නේය, තමා උපන් දේශයද තවත් නොදකින්නේය.
11 මක්නිසාද යොෂියාගේ පුත්‍රවූ, යූදාහි රජවූ, තමාගේ පියවූ යොෂියා වෙනුවට රජකම්කළාවූ, මේ ස්ථානයෙන් පිටත්ව ගියාවූ ෂල්ලුම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු මෙහි තවත් හැරී නෑවිත්,
12 ඔහු අල්ලාගෙන යනු ලැබූ ස්ථානයේදීම මැරෙන්නේය, ඔහු තවත් මේ දේශය නොදක්නේය.
13 තමාගේ ගෙය අධර්මිෂ්ඨකමින්ද තමාගේ උඩුමහල් අයුක්තියෙන්ද ගොඩනගන්නාවූ, තමාගේ අසල්වාසියාට කුලී නොදී නිකමට ඔහුගෙන් වැඩ ගන්නාවූ,
14 මම මහත් ගෙයක්ද විශාලවූ උඩුමහල්ද ගොඩනගන්නෙමියි කියමින් කවුළු කපාගන්නාවූ, කිහිරි ලීවලින් වසා සාදිලිංගම් ගාන්නාවූ අයට දුක්වේ.
15 නුඹ කිහිරි ලීවලින් උසස්වෙන්ට වීර්ය කරන බැවින් නුඹට රජකම්කරන්ට ලැබේද? නුඹේ පියා කා බී යුක්තියද ධර්මිෂ්ඨකමද කළා නොවේද? එවිට ඔහුට ශුභසිද්ධවූයේය.
16 ඔහු අසරණයාගේද දිළින්දාගේද නඩුව ඇසුවේය; එවිට ශුභසිද්ධවූයේය. මා ඇඳිනගැනීම නම් ඒක නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
17 නුමුත් නුඹේ ඇස් සහ නුඹේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.
18 එබැවින් යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ මාගේ සහෝදරය! අහෝ සහෝදරිය! කියා ඔව්හු ඔහු ගැන නොවැලපෙන්නෝය. අහෝ ස්වාමිනි! අහෝ ඔහුගේ මහිමය! කියා ඔහු ගැන නොවැලපෙන්නෝය.
19 කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.
20 නුඹේ සියලුම ප්‍රේමවන්තයන් නැතිවී ගිය බැවින් ලෙබනොන්ට නැගීගොස් මොරගසන්න; නුඹේ හඬ බාෂාන්හි පවත්වා අබාරීම්හි සිට මොරගසන්න.
21 නුඹ සැපතින් සිටිද්දී නුඹට කථාකෙළෙමි; නාසන්නෙමියි නුඹ කීවෙහිය. මාගේ හඬට කීකරු නොවීම නුඹේ බාල කාලයේ පටන් නුඹේ විධියව තිබුණේය.
22 හුළඟ නුඹේ සියලු එඬේරුන් කාදමන්නේය, නුඹේ ප්‍රේමවන්තයෝද වාලට යන්නෝය. එවිට නුඹේ සියලු නපුරුකම් ගැන නුඹ ලජ්ජාවටත් නින්දාවටත් පැමිණෙන්නෙහිය.
23 අහෝ ලෙබනොන්හි වාසයකරමින් කිහිරි ගස්වල කැදැල්ල තබන තැනැත්තිය, වේදනා එනම් බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් රුජාව නුඹට පැමිණෙන විට නුඹ කොපමණ කාලකණ්ණි නොවන්නෙහිද?
24 යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ කෝනියා මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටියේවී නුමුත්, මම එතනින් නුඹ උදුරාදමන්නෙමියි කියා සහතිකකොට කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
25 නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් නුඹ භයවෙන අයින් අතටත්, එනම් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් කල්දිවරුන් අතටත් මම නුඹ පාවාදී,
26 නුඹද නුඹ බිහිකළ නුඹේ මවුද නුඹලා නූපන් අන් දේශයකට හෙළාදමන්නෙමි; එහිදී නුඹලා මැරෙනවා ඇත.
27 ඔවුන් හැරීඑන්ට ආශාවෙන දේශයට නම් ඔව්හු හැරී නොඑන්නෝය.
28 මේ මිනිහා, කෝනියා, නීචවූ බිඳුණු බඳුනක්ද? ඔහු අප්‍රියවූ භාජනයක්ද? ඔහු සහ ඔහුගේ වංශය අහක්කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට හෙළාදමනු ලබන්නේ මක්නිසාද?
29 එම්බා පොළොව, පොළොව, පොළොව, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
30 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ මනුෂ්‍යයා දරුවන් නැත්තාවූ, තමාගේ දවස්වලදී සඵල නොවන්නාවූ මනුෂ්‍යයෙක්යයි ලියන්න. මක්නිසාද ඔහුගේ වංශයේ කිසිවෙක් තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ යූදාහි ආණ්ඩුකරමින් සඵල නොවන්නේය.