යෙරමියා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52


පරිච්ඡේදය 17

යූදාවරුන්ගේ පාපය යකඩ පන්හිඳකින්ද වජ්‍ර තුඩකින්ද ලියා තිබේ. ඒක ඔවුන්ගේ සිත නමැති පුවරුවේද ඔවුන්ගේ පූජාසනයන්හි අංවලද කොටා තිබේ.
2 එසේම ඔවුන්ගේ දරුවෝද උස්වූ හෙල් උඩ අමු ගස් ළඟ තිබෙන ඔවුන්ගේ පූජාසනද ඔවුන්ගේ අෂේරා කණුද සිහිකරති.
3 එම්බා වනයේ තිබෙන මාගේ කන්ද, නුඹේ සම්පතද නුඹේ සියලුම වස්තුද නුඹේ සියලු පළාත්වල කළ පාපය නිසා නුඹේ උස් තැන්ද කොල්ලයක් කොට දෙන්නෙමි.
4 මා විසින් නුඹට දුන් නුඹේ උරුමයෙන් නුඹ අහක්වන්නෙහිය; නුඹ නොදන්නා දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට නුඹට සලස්වන්නෙමි; මක්නිසාද නුඹලා මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.
5 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.
6 ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත.
7 ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, ස්වාමීන්වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
8 මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ, ගඟ ළඟ මුල් අදින්නාවූ, ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ, කොළ නොවේළෙන්නාවූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නාවූ, ඵල දැරීමෙන් තොර නොවෙන්නාවූ ගහකට සමානවන්නේය.
9 සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?
10 ස්වාමීන්වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාගකොට, අදහස් සෝදිසිකරමි.
11 අයුක්තියෙන් සම්පත් උපදවාගන්නා තමා නොදැමූ බිජු රකින ඇටිකිකිළියෙකුට සමානය; ඔහුගේ දවස් මධ්‍යයේදී ඒවා ඔහු අත්හැර යන්නේය, මෙසේ ඔහු තමාගේ අන්තිමයේදී, අඥානයෙක් වන්නේය.
12 අපේ ශුද්ධස්ථානයේ ඉඩම වනාහි පටන්ගැන්මේ සිට උසස්වූ තේජවන්තවූ සිංහාසනයක්ය.
13 අහෝ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්ස, ඔබව අත්හරින සියල්ලෝම ලජ්ජාවට පත්වන්නෝය; මාගෙන් අහක්වයන්නෝ ජීවමාන වතුර උල්පත වන ස්වාමීන්වහන්සේ අත්හැරිය බැවින්, ඔවුන් ගැන පොළොව පිට ලියනු ලැබේ.
14 ස්වාමීන්වහන්ස , මට සුවවන පිණිස මා සුවකළ මැනව; මා ගැළවෙන පිණිස ඔබ මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබම මාගේ ප්‍රශංසාවය.
15 බලව, ඔව්හු: ස්වාමීන්වහන්සේගේ වචනය කොයිද? එය පැමිණේවයි මට කියති.
16 මම නම් එඬේරෙක්ව සිටීමෙන්ද ඔබ අනුව යාමෙන්ද හැරී නොගියෙමි; කාලකණ්ණි දවසට මම ආශාද නූණෙමි; ඔබම දන්නාසේක. මාගේ තොල්වලින් නික්මුණු කාරණය ඔබගේ මුහුණ ඉදිරියෙහිම තිබුණේය.
17 ඔබ මට භීතියක්ව නොසිටිය මැනව. විපත්ති දවසේදී ඔබ මාගේ රක්ෂාස්ථානයය.
18 මට පීඩාකරන්නෝ ලජ්ජාවට පැමිණෙත්වා, මා ලජ්ජාවට පැමිණෙන්ට ඉඩ නෑරිය මැනව; ඔව්හු කැලඹෙත්වා, මා කැලඹෙන්ට ඉඩ නෑරිය මැනව. විපත්ති දවස ඔවුන් පිටට පමුණුවා, ද්විගුණ විනාශයකින් ඔවුන් විනාශකළ මැනව.
19 ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: නුඹ ගොස් යූදාහි රජවරුන් යන එන, සෙනඟගේ පුත්‍රයන්ගේ දොරටුවේද යෙරුසලමේ සියලු දොරටුවලද සිට ඔවුන්ට කථාකොට:
20 යූදාහි රජවරුනි, සියලු යූදාවරුනි, මේ දොරටුවලින් ඇතුල්වෙන යෙරුසලමේ සියලු වැසියෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න;
21 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක- නුඹලා සබත් දවසේදී කිසි බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් එය නොගෙනෙන හැටියටත්,
22 සබත් දවසේදී නුඹලාගේ ගෙවලින් බරක් නොගෙනියන හැටියටත්, කිසිම වැඩක් නොකරන හැටියටත්, නුඹලාගේ ප්‍රාණ උදෙසා බලාගෙන, මා විසින් නුඹලාගේ පියවරුන්ට අණකළ ප්‍රකාරයට සබත් දවස ශුද්ධලෙස පවත්වන්න.
23 එහෙත් ඔව්හු නාසා, තමුන්ගේ කන් යොමු නොකර, නාසන ලෙසත් දැනමුතුකම පිළිනොගන්න ලෙසත් තමුන්ගේ කුළල් දැඩිකරගත්තෝය.
24 නුමුත් නුඹලා සබත් දවසේදී මේ නුවර දොරටුවලින් කිසි බරක් නොගෙනෙන හැටියට මට ඇහුම්කන්දී, සබත් දවසේදී කිසිම වැඩක් නොකොට, ඒක ශුද්ධලෙස පැවැත්තුවොත්,
25 දාවිත්ගේ සිංහාසනයෙහි වාඩිවෙන්නාවූ, රථවල සහ අශ්වයන් පිට නැගී යන්නාවූ රජවරු සහ ඔවුන්ගේ අධිපතීහුද යූදාහි මනුෂ්‍යයෝද යෙරුසලමේ වැසියෝද මේ නුවර දොරටුවලින් ඇතුල්වන්නාහුය. මේ නුවරද සදාකාලේටම පවතිනවා ඇත.
26 තවද යූදාහි නුවරවලින්ද යෙරුසලම වටකර තැන්වලින්ද බෙන්යමින් දේශයෙන්ද පාතරටින්ද කඳුකරයෙන්ද දකුණු දිශාවෙන්ද මනුෂ්‍යයෝ දවන පූජාද යාගද ආහාර පූජාද කට්ටකුමංචල්ද රැගෙන, ස්තුති පූජාද රැගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්නෝය.
27 නුමුත් සබත් දවස ශුද්ධලෙස පවත්වන හැටියටද සබත් දවසේදී බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලට ඇතුල්නොවන හැටියටද නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළවන්නෙමි, එය නොනිවී යෙරුසලමේ මාළිගා දවාදමන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.