හිතෝපදේශ

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31


පරිච්ඡේදය 1

ඉශ්‍රායෙල්ගේ රජවූ දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ හිතෝපදේශ.
2 ඒවා වනාහි ප්‍රඥාවද ගුරුකමද දැනගැනීමටත්; බුද්ධිමත් වාක්‍ය තේරුම්ගැනීමටත්;
3 ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්;
4 අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.
5 හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
6 ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය.
7 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.
8 මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
9 මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.
10 මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න.
11 ඔවුන් කථාකොට: අප සමඟ එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු;
12 ෂෙයෝල මෙන් අපි ඔවුන් පණපිටින්ද වළට බසින්නන් මෙන් සහමුලින්ද ගිලගනිමු;
13 සියලු ආකාර අනර්ඝ වස්තු අපට සම්බවේ, අපේ ගෙවල් කොල්ලයෙන් පුරවා ගන්නෙමු;
14 නුඹ අප සමඟ පංගුකාර වෙන්න; අප සියල්ලන්ට එක පසුම්බියක්ම තිබේවයි කියන නුමුත්,
15 මාගේ පුත්‍රය, ඔවුන් සමඟ ඒ මාර්ගයේ නොයන්න; නුඹේ පය ඔවුන්ගේ මාවතින් වළක්වාගන්න.
16 මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු ලේ වැගිරීමට ඉක්මන්වෙති.
17 යම්කිසි පක්ෂියෙකුට පෙනෙන ලෙස දැල එළාතැබීම නිෂ්ඵලය.
18 ඔව්හු වනාහි තමුන්ගේම ලෙය ගැන රැක සිටිති, තමුන්ගේම ප්‍රාණය විරුද්ධව සැඟවී සිටිති.
19 ලාභයට ලෝභිවූ සියල්ලන්ගේ මාර්ග එසේමය; එය හිමිකාරයන්ගේ ප්‍රාණය එයින්ම හානිවේ.
20 ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි;
21 මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි.
22 එනම් නුවණ නැත්තෙනි, නුඹලා අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද?
23 මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.
24 මක්නිසාද මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත;
25 නුඹලා මාගේ සියලු දැනමුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළිනොගත්තාහුය.
26 එබැවින් මමත් නුඹලාගේ විපත්ති දවසේදී සිනාසෙන්නෙමි; නුඹලාට භය පැමිණෙන විටද,
27 නුඹලාගේ භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද, නුඹලාගේ විනාශය සුළි හුළඟක් මෙන් එනවිටද, නුඹලා කෙරෙහි විපතත් දුකත් පැමිණෙන විටද, මම සරදම්කරන්නෙමි.
28 එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත.
29 මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.
30 ඔව්හු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය.
31 එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.
32 මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය. අඥානයෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය.
33 නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.