හිතෝපදේශ
පරිච්ඡේදය 14
ඥානවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය* ගොඩනගන්නීය; (* එනම්, පවුල) එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.
2 තමාගේ සෘජුකමෙන් හැසිරෙන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවෙන්නේය; එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ සුළුකොට සලකන්නේය.
3 මෝඩයාගේ මුඛයෙහි උඩඟුකම නමැති ඉපලක් ඇත්තේය; එහෙත් ප්‍රඥාවන්තයන්ගේ තොල් ඔවුන් ආරක්ෂා කරයි.
4 ගවයන් නැති ගාල පවිත්‍රය; එහෙත් ගොනාගේ ශක්තියෙන් බොහෝ අස්වැන්න ලැබේ.
5 විශ්වාස සාක්ෂිකාරයෙක් බොරු නොකියයි; එහෙත් බොරු සාක්ෂිකාරයා බොරු නික්මවයි.
6 නින්දාකරන්නා ප්‍රඥාව සොයන නුමුත් එය සම්බ නොවන්නේය; එහෙත් නුවණ ඇත්තාට දැනගැන්ම පහසුය.
7 අඥානයා ඉදිරියට යන්න, එවිට ඔහුට දැනගැනීමේ තොල් නැති බව නුඹට පෙනෙන්නේය.
8 බුද්ධිමත් අයගේ ප්‍රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය; එහෙත් අඥානයන්ගේ මෝඩකම වංචාවය.
9 මෝඩයෝ වරද ගැන සරදම්කෙරෙති; එහෙත් අවංකයන් අතරේ දේව කරුණාව ඇත්තේය.
10 සිත තමාගේම ශෝකය දනියි; එහි ප්‍රීතියට අන්‍යයෙක් මැදි නොවෙයි.
11 දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය; එහෙත් අවංක අයගේ කූඩාරම සඵලවන්නේය.
12 මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.
13 සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය.
14 සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.
15 නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.
16 ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි.
17 ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්‍රියාකරයි; දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි.
18 නුවණ නැත්තන්ට මෝඩකම උරුම වන්නේය; එහෙත් බුද්ධිමත්හු දැනගැන්ම නමැති ඔටුන්න පැළඳගනිති.
19 නපුරෝ යහපතුන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැඳ වැටෙති.
20 දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි; එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය.
21 තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.
22 නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය.
23 සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය.
24 ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය; එහෙත් අඥානයන්ගේ උතුම්කම නම් මෝඩකමය.
25 සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.
26 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.
27 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය.
28 රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.
29 කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.
30 මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.
31 දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.
32 දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.
33 නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; එහෙත් අඥානයන් තුළ තිබෙන දේ ප්‍රකාශවේ.
34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය.
35 රජුගේ ප්‍රසන්නකම නුවණින් හැසිරෙන සේවකයා කෙරෙහිය; එහෙත් ලජ්ජාව උපදවන්නාට ඔහුගේ උදහස පැමිණේ.