දේශනාකාරයා

1 2 3 4 5 6 7 8 9 10 11 12


පරිච්ඡේදය 5

නුඹ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති.
2 නුඹේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, නුඹේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, නුඹ පොළොවෙහිය; ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා.
3 මක්නිසාද ස්වප්නය කාරණා රාශියක්ද අඥානයාගේ හඬ වචන රාශියක්ද ඇතුව පැමිණෙන්නේය.
4 නුඹ දෙවියන්වහන්සේට බාරයක් වුණාම එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න; මක්නිසාද උන්වහන්සේ අඥානයන් කෙරෙහි ප්‍රසන්න නැත.
5 නුඹ වුණ බාරය ගෙවන්න. නුඹ බාරයක්වී නොගෙවා සිටිනවාට වඩා බාරයක් නොවී සිටීම හොඳය.
6 නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?
7 මක්නිසාද ස්වප්න හා නිෂ්ඵලකම් රාශියකිනුත් බොහෝ වචනවලිනුත් මෙසේ සිදුවේ. එබැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන්න.
8 දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.
9 ඇරත් බිමේ ප්‍රයෝජනය සියල්ලන්ටම වේ; රජ්ජුරුවෝ පවා කෙතෙන් රක්ෂාවන්නාහ.
10 රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.
11 දේපළ වැඩිවන විට ඒවා භුක්තිවිඳින්නෝද වැඩිවෙති. ඒවා අයිතිකාරයාට තමාගේ ඇස්වලින් ඒවා බැලීම මිස එයින් ඇති ප්‍රයෝජනය මොකද?
12 වැඩකරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නුමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.
13 ඉර යට මා දුටු මහත් වරදක් තිබේ, එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය වන ලෙස වස්තුව තබාගැනීමය.
14 ඒ වස්තු යම් නපුරු සිද්ධියකදී නැතිවෙයි; මෙසේ ඔහුට දාව පුත්‍රයෙක් සිටියත් ඔහු අතේ කිසිත් නැත.
15 ඔහු තමාගේ මවුගේ කුසෙන් නික්ම ආ ලෙසම නිර්වස්ත්‍රව නැවත යන්නේය, තමාගේ අතින් ගෙනගිය හැකි කිසිවකුත් තමාගේ වැඩෙන් ඔහු ගෙනයන්නේ නැත.
16 මේකත් මහත් වරදක්ය: සියලු ආකාරයෙන්, ඔහු ආ ලෙසම ඔහු යන්නේය. සුළඟ ගැන වෙහෙසවෙන්නාවූ ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?
17 ඔහුගේ සියලු දවස්වල ඔහු අන්ධකාරයෙහි කෑම කන්නේය, ඔහුට තද දුකද වේදනාවද කෝපයද තිබේ.
18 බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිදීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.
19 තවද දෙවියන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට වස්තුද සම්පත්ද දී, ඒවා භුක්තිවිඳින්ටත් තමාගේ කොටස රැගෙන තමාගේ වැඩෙන් ප්‍රීතිවෙන්ටත් බලය දී තිබේද? එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.
20 මක්නිසාද ඔහුගේ සිතේ ප්‍රීතිය තැබීමෙන් දෙවියන්වහන්සේ ඔහුට උත්තරදෙන බැවින් ඔහු තමාගේ ජීවිතයේ දවස් වඩා සිහිකරන්නේ නැත.