යෝබ්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42


පරිච්ඡේදය 10

මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය; මාගේ විලාපය වලක්වා නොගෙන, මාගේ ආත්මයේ ශෝකයෙන් කථා කරන්නෙමි.
2 දෙවියන්වහන්සේට මම මෙසේ කියන්නෙමි: මා වරදට පත් නොකළ මැනව; කුමක් නිසා මා සමඟ විවාදකරනසේක්දැයි මට දැන්නුව මැනව.
3 ඔබ විසින් පීඩාකිරීමත්, ඔබගේ අත්වැඩය හෙළාදැකීමත්, දුෂ්ටයන්ගේ මන්ත්‍රණය කෙරෙහි බැබළීමත් ඔබට සුදුසුද?
4 ඔබට මාංසමය ඇස් තිබේද? නොහොත් මනුෂ්‍යයාට පෙනෙන්නාක්මෙන් ඔබට පෙනෙන්නේද?
5 ඔබගේ දවස් මනුෂ්‍යයාගේ දවස් වාගේද? නොහොත් ඔබගේ අවුරුදු මනුෂ්‍යයාගේ අවුරුදු වාගේද?
6 මක්නිසාද මා දුෂ්ටයෙක් නොවන බවද ඔබගේ අතින් මුදන්ට පුළුවන් කිසිකෙනෙක් නැති බවද ඔබ දන්න නුමුත්,
7 ඔබ මාගේ අපරාධය විමසනසේක, මාගේ පාපයක් සොයා බලනසේක.
8 ඔබගේ අත්වලින් මා හැඩහුරුකොට සහමුලින්ම මා සෑදූ නුමුත්, ඔබ මා නාස්තිකරනසේක.
9 ඔබ මා මැටිවලින් මෙන් සෑදූ බව සිහිකරන ලෙස අයදිමි: ඔබ මා නැවත පස්වලට හරවනසේක්ද?
10 ඔබ මා කිරි මෙන් වත්කර, මිදුණු කිරි මෙන් මිදෙන්ට සලස්වා,
11 හමෙන්ද මාංසයෙන්ද මා පළඳවා, ඇටවලින්ද නහරවලින්ද මා වියන්ට නොයෙදුණේද?
12 ඔබ මට ජීවිතයත් කරුණාවත් දී, ඔබගේ දයා බැල්මෙන් මාගේ ආත්මය ආරක්ෂාකළසේක.
13 එහෙත් මේ දේවල් ඔබගේ සිතෙහි සඟවා තබාගත්සේක; මේ කාරණය ඔබගේ කල්පනාවෙහි තිබුණු බව දනිමි.
14 මම පව්කෙරෙම්නම් ඔබ එය බලා ගන්නසේක, මාගේ අපරාධයෙන් ඔබ මා නිදොස් නොකරනසේක.
15 මා දුෂ්ටයෙක්නම් මට දුක්වේ; මා ධර්මිෂ්ඨවුවත්. ලජ්ජාවෙන් පිරී, මාගේ පීඩාව දෙස බලමින්, මාගේ හිස නොඔසවා ඉන්නෙමි.
16 මාගේ හිස එසෙවුවොත් ඔබ සිංහයෙකු මෙන් මා පස්සේ එළවා, නැවත පුදුම ලෙස මා කෙරෙහි බලය පානසේක.
17 අමුතු සාක්ෂි මට විරුද්ධව පමුණුවා, මා කෙරෙහි ඔබගේ උදහස වැඩි කරනසේක; සේනාව පිට සේනාව මා කරා එන්නාහ.
18 එබැවින් ඔබ මා කුසෙන් බිහිකළේ මන්ද? එසේ නොකළානම් මා නැසී කිසි ඇසකට නොපෙනී යනවා ඇත.
19 එකල මා නුවූවාක්මෙන් වෙනවා ඇත; කුසෙන් මිනිවළට ගෙනයනු ලබනවා ඇත.
20 මාගේ දවස් ස්වල්ප නොවේද? එබැවින් නැවතුණ මැනව; හැරී නේන ස්ථානයට,
21 එනම් අන්ධකාරයේද මරණ සෙවණේද දේශයවූ, අන්ධකාරය වැනි තද කළුවරද
22 පිළිවෙළක් නැතුව මරණ සෙවණද ඇත්තාවූ, එළියත් අන්ධකාරයව පවත්නාවූ දේශයට මා යන්ට පළමුවෙන්, මට ස්වල්පයක් සැනසිල්ල ලැබෙන පිණිස, මාගෙන් අහක්වුව මැනවයි කීවේය.