යෝෂුවා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24


පරිච්ඡේදය 20

ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට:
2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න-නොදැනුවත්ව වැරදිල්ලකින් යමෙකු මරන අයට පලාගොස් සිටීම පිණිස,
3 මා විසින් මෝසෙස් ලවා ඔබ සැමට කියෙවූ හැටියට ආරක්ෂා නුවරවල් නියමකරගන්න. ඒවා ලේ ගැන පළිගන්නාගෙන් ආරක්ෂාවක් වන පිණිස ඔබ සැමට තිබේවා.
4 ඔහු ඒ නුවරවලින් එකකට පලාගොස් නුවර දොරකඩ සිට ඒ නුවර වැඩිමහල්ලන් ඉදිරියෙහි තමාගේ කාරණය කියා සිටින්නේය; ඔවුන් ඔහු නුවරට පිළිගෙන ඔහු තමුන් සමඟ වාසයකරන පිණිස ඔහුට තැනක් දිය යුතුය.
5 ලේ ගැන පළිගන්න අය ඔහු ලුහුබැඳ ආවොත් මිනීමැරූ තැනැත්තා ඔහු අතට පාවා නොදිය යුතුය; මක්නිසාද පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛරයක් නොතිබී, අත්වැරැද්දෙන් ඔහු මැරූ නිසාය.
6 ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරුද ඒ දවස්වල සිටින උත්තම පූජකයා නසින තුරුද ඒ නුවර වසන්නේය. ඉන්පසු මිනී මැරූ තැනැත්තා තමා හැරගිය තමාගේම නුවරටත් තමාගේම ගෙදරටත් හැරීයන්නේයයි කීසේක.
7 මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ්ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම්ද යූදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බාද වෙන්කොට තැබුවෝය.
8 යෙරිකෝවට නැගෙනහිරෙන් යොර්දානෙන් එගොඩ රූබෙන් ගෝත්‍රයෙන් තලාවේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන්ද ඔව්හු නියමකළෝය.
9 වැරදිල්ලකින් මිනීමරන කවුරු නුමුත් සභාව ඉදිරියෙහි සිටින්ට පළමුවෙන් ලේ ගැන පළිගන්නාගේ අතින් මැරුම් නොකන පිණිස පලාගොස් සිටීමට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඔවුන් අතරෙහි සිටින විදේශීන්ද උදෙසා නියමකරනලද නුවරවල් මේවාය.