ගණන් කථාව

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36


පරිච්ඡේදය 3

ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස් සමඟ කථාකළ දවසෙහි ආරොන්ගේ සහ මෝසෙස්ගේ පෙළපත් මේ ආකාරය.
2 ආරොන්ගේ පුත්‍රයන්ගේ නාම නම් කුලුඳුලාවූ නාදාබ්, අබීහු, එලෙයාසර්, ඊතාමාර් යන මොව්හුය.
3 පූජක තනතුරෙහි මෙහෙකරන පිණිස ආරොන් විසින් කැපකරනලද්දාවූ ආලේපලත් පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ නාම මේය.
4 එහෙත් නාදාබ් සහ අබීහු සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය, ඔවුන්ට දරුවෝ නොසිටියෝය. එලෙයාසර් සහ ඊතාමාර් තමුන්ගේ පියවූ ආරොන් ඉදිරියෙහි පූජක තනතුරේ සේවයකළෝය.
5 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
6 ලෙවී ගෝත්‍රය පූජකයාවූ ආරොන්ට සේවයකරන පිණිස ඔවුන් ගෙන්වාගෙන ඔහු ඉදිරිපිට සිටවන්න.
7 ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඉදිරියෙහි ඔහුට සහ මුළු සභාවටත් සේවය කරමින් මණ්ඩපයේ වැඩ කරත්වා.
8 ඔව්හු සම්මුඛවීමේ කූඩාරමේ සියලු බඩු රක්ෂාකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සේවය ඉෂ්ටකරමින් මණ්ඩපයේ වැඩය කරත්වා.
9 ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය.
10 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.
11 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
12 බලව, මමම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගර්භයේ පළමුවෙනියන් වන සියලු කුලුඳුලන් වෙනුවට ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ගතිමි; ලෙවීවරු මට අයිති වන්නෝය.
13 මක්නිසාද සියලු කුලුඳුලෝ මාගේය; මා විසින් මිසර දේශයේ සියලුම කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද සියලුම කුලුඳුලන් මට විශුද්ධකරගතිමි. ඔව්හු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.
14 තවද ස්වාමීන්වහන්සේ සීනයි කාන්තාරයේදී මෝසෙස්ට කථාකොට:
15 ලෙවීගේ පුත්‍රයන් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ වංශවල ප්‍රකාරයට ගණන්කරන්න. මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලු පිරිමින් ඔබ විසින් ගණන්කළ යුතුයයි කීසේක.
16 මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ ප්‍රකාර ඔවුන් ගණන්කෙළේය.
17 නාම වශයෙන් ලෙවීගේ පුත්‍රයෝනම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.
18 පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ නාම නම් ලිබ්නි සහ ෂිමෙයිය.
19 පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝනම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.
20 පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝනම් මාලී සහ මූෂීය. තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලෙවීවරුන්ගේ පවුල් මේවාය.
21 ගේර්ෂොන්ට ලිබ්නි පවුලද ෂිමෙයි පවුලද අයිතිය. ගේර්ෂොන්වරුන්ගේ පවුල් නම් මේවාය.
22 ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හත්දාස් පන්සියයක්ය.
23 ගේර්ෂොන්වරුන්ගේ පවුල් මණ්ඩපය පිටිපස අපරදිගින් කූඩාරම් පිහිටුවාගන්නෝය.
24 ගේර්ෂොන්වරුන්ගේ පිය පෙළපතේ අධිපතියා නම් ලායෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය.
25 සම්මුඛවීමේ කූඩාරමෙහි ගේර්ෂොන් පුත්‍රයන්ගේ භාරයනම් මණ්ඩපය සහ කූඩාරමද ඒකේ වැස්ම සහ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,
26 මණ්ඩපය සහ පූජාසනය ළඟ වටකරින් මළුවේ තිරද මළුවේ දොරකඩ කඩතුරාවද ඒකේ සියලුම වැඩවලට ඕනෑකරන ලනුද බලාගැනීමය.
27 අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.
28 මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලුම පිරිමින්ගේ ගණන අටදාස් හසියයක්ය. ඔව්හු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය.
29 කොහාත් පුත්‍රයන්ගේ පවුල් මණ්ඩපයට දකුණු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.
30 කොහාත්වරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියානම් උස්සීයෙල්ගේ පුත්‍රවූ එලිශාඵාන්ය.
31 ඔවුන්ගේ භාරය නම් පෙට්ටියද මේසයද පහන්රුකද පූජාසනද ශුද්ධස්ථානයෙහි සේවයට ගන්නා භාජනද කඩතුරාවද ඊට අයිති සියලු වැඩද බලාගැනීමය.
32 පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් ලෙවීවරුන්ගේ අධිපතීන්ගේ අධිපතියාව ශුද්ධස්ථානයේ සේවය භාරගන්නන්ගේ මුලාදෑනියා වන්නේය.
33 මාලී පවුල සහ මූෂී පවුල මෙරාරීගෙන් වූවෝය. මෙරාරීවරුන්ගේ පවුල් මේවාය.
34 මොවුන්ගෙන් ගණන්ගනු ලැබූ අය මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හදාස් දෙසියයක්ය.
35 මෙරාරීවරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියා නම් අබිහයිල්ගේ පුත්‍රවූ ශූරියෙල්ය. ඔව්හු මණ්ඩපයට උතුරු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.
36 මෙරාරීගේ පුත්‍රයන්ට නියම භාරයනම් මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද කුළුනුද අඩිද ඒකේ සියලු උපකරණද ඒකේ මෙහෙයට ගන්නා සියල්ලද;
37 වටකරින් මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද බලාගැනීමය.
38 නැගෙනහිර පැත්තෙහි මණ්ඩපයට ඉස්සරහපිටින් නැගෙන ඉරට සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට කඳවුරු බැඳගන්නෝනම් මෝසෙස් හා ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද වෙත්. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය; ළංවන්නාවූ අන්‍යයා මරනු ලබන්නේය.
39 මෝසෙස් සහ ආරොන් විසින් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ලෙවීවරුන්ගෙන් ඔවුන්ගේ පවුල්වල හැටියට ගණන්කරනලද මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු පිරිමි විසි දෙදහසක්ය.
40 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු කුලුඳුල් පිරිමින් ගණන්කොට ඔවුන්ගේ නාම ගණන ගනින්න.
41 ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගවයන් අතරෙහි සියලු කුලුඳුල් ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද මට ගනින්න; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.
42 මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් ගණන් කෙළේය.
43 එසේ ගණන්කරනු ලැබුවාවූ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු කුලුඳුල් පිරිමි නාම ගණනේ හැටියට විසි දෙදාස් දෙසිය සැත්තෑ තුන්දෙනෙක්ය.
44 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
45 ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඔවුන්ගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද ගනින්න. ලෙවීවරු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේය.
46 ලෙවීවරුන්ගේ ගණනට වැඩිව සිටින්නාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන් දෙසිය සැත්තෑ තුන්දෙනාගේ මිදීම පිණිස,
47 එක් එක්කෙනා වෙනුවට ෂෙකෙල් පහක් බැගින් ගනින්න; ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් ගනින්න.
48 මුදනු ලබන්ට සිටින්නන්ගේ වැඩිපුර ගණනින් ලත් මුදල ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දෙන්නැයි කීසේක.
49 මෝසෙස්ද ලෙවීවරුන් විසින් මුදනු ලැබූවන්ට වඩා වැඩිව සිටියන්ගේ මිදීමේ මිල ගත්තේය.
50 ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන්ගෙන් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ගණනට ෂෙකෙල් එක්දාස් තුන්සිය හැටපහක් මුදල ගෙන,
51 ඒ මුදනු ලැබූවන්ගේ මුදල ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුන්නේය.