ලෙවී කථාව

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27


පරිච්ඡේදය 23

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න-ශුද්ධ සභා රැස්වීම් කොට ඔබ සැම විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ මංගල්‍යයන් එනම් මාගේ නියම මංගල්‍යයන් මේවාය:
3 සදවසක් වැඩකරන්ට පුළුවන. එහෙත් සත්වෙනි දවසේ ගරුමය නිවාඩුවේ සබත්ය, ශුද්ධ සභා රැස්වීමක්ය; ඔබ සැම කිසිම වැඩක් නොකරන්න. එය ඔබ සැමගේ සියලු වාසස්ථානවල ස්වාමීන්වහන්සේට පැවැත්විය යුතු සබතක්ය.
4 ඒ ඒ නියම කාලවල ඔබ සැම විසින් ප්‍රසිද්ධකළ යුතු ශුද්ධ සභා රැස්වීම් වන ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.
5 පළමුවෙනි මස දස සතරවෙනි දින සවස ස්වාමීන්වහන්සේගේ පාස්කුව වේ.
6 එම මස පසළොස් වෙනි දින ස්වාමීන්වහන්සේට මුහුන් නොදැමූ රොටි මංගල්‍යය වන්නේය. සත් දවසක් මුහුන් නැති රොටි කන්න.
7 පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න.
8 එහෙත් ගින්නෙන් කරන පූජාවක් සත් දවසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුය. සත්වෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය; කිසිම බර වැඩක් නොකළ යුතුයයි කීසේක.
9 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට තවත් කථාකොට කියනසේක්:
10 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න-මා විසින් ඔබ සැමට දෙන දේශයට ඔබ සැම අවුත් එහි ගොයම් කපන කල ඔබ සැමගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න.
11 ඒ මිටිය ඔබ සැම උදෙසා පිළිගනු ලබන පිණිස ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එය තේවකරන්නේය. සබත් දවසට පසුවදා පූජකයා එය තේවකෙරේවා.
12 ඔබ සැම ඒ මිටිය තේවකරන දවසේදී ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට කැලලක් නැති අවුරුද්දක බැටළුවස්සෙක්ද,
13 ඊට ආහාර පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවක්ද ඊට පාන පූජාවක් කොට මුද්‍රිකපාන හිනකින් සතරෙන් පංගුවක්ද ඔප්පු කරන්න.
14 එසේ ඒ දවස දක්වා ඔබ සැමගේ දෙවියන්වහන්සේගේ පඬුරක් ඔබ සැම ගෙනෙන තුරුම රොටිවත් විලඳවත් අමුකරල්වත් ඔබ සැම විසින් නොකෑ යුතුය. එය ඔබ සැමගේ සියලු පරම්පරාවලදී ඔබ සැමගේ සියලු වාසස්ථානවල සදාකාල පනතක්ය.
15 සබතට පසුවදා වන ඔබ සැමගේ තේව මිටිය ගෙනෙන දවසේ පටන් ගැණලා සබත් දවස් සතක්ම පසුවෙන්ට ඇර,
16 සත්වෙනි සබත් දවසට පසුව දා දක්වා පනස් දවසක් ගණන්කරගෙන, අලුත් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න.
17 ඔබ සැමගේ වාසස්ථානවලින් සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සෑදුවාවූ මුහුන් දමා පිලිස්සුවාවූ තේව රොටි දෙකක් ස්වාමීන්වහන්සේට නාඹුල් ඵල කොට ගෙනෙන්න.
18 ඔබ සැම ඒ රොටි සමඟ ස්වාමීන්වහන්සේට දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවස්සන් සත්දෙනෙක්ද එක ගොන් නාම්බෙක්ද බැටළුවන් දෙන්නෙක්ද ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ දවන පූජාවක් කොට උන්ගේ ආහාර පූජාද පාන පූජාද සමඟ ඔප්පුකළ යුතුය.
19 තවද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ශාන්ති පූජාවක් පිණිස එක් අවුරුදු බැටළුපැටවුන් දෙන්නෙක්ද ඔප්පුකළ යුතුය.
20 පූජකයාද නාඹුල් ඵලවලින් සෑදූ රොටි සහ බැටළු පැටවුන් දෙදෙනා සමඟ උන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් කොට තේවකෙරේවා. එය පූජකයාට ලැබෙන පිණිස ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය.
21 එම දවසේම ශුද්ධ සභා රැස්වීමක් ප්‍රසිද්ධකර පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. එය ඔබ සැමගේ සියලු වාසස්ථානවල ඔබ සැමගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.
22 ඔබ සැමගේ දේශයේ ගොයම් කපන කල ඔබේ කෙතේ මුලුවලින් සහමුලින් කපා නොගන්න, වැටී තිබෙන කරල් එකතුකර නොගන්න. ඒවා දිළිඳුන්ට හා විදේශීන්ට අරින්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
23 තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
24 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න-සත්වෙනි මස පළමුවෙනි දින ඔබ සැමට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය.
25 ඔබ කිසිම බර වැඩක් නොකළ යුතුය. ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුයයි කීසේක.
26 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට තවත් කථාකොට කියනසේක්:
27 ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමඟිකමක් කිරීමේ දවසය. ඔබ සැම ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, ඔබ සැමගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය.
28 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම උදෙසා සමඟිකමක් කරන පිණිස එය සමඟි කිරීමේ දවසක් නිසා ඒ දවසේදී කිසිම වැඩක් නොකළ යුතුය.
29 ඒ දවසේ තමාට දුක්නොදෙන්නාවූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
30 ඒ දවසේදී කිසියම් වැඩක් කරන කවරෙකු නුමුත් ඔහුගේ සෙනඟ අතරෙන් විනාශ කරන්නෙමි.
31 කිසිම වැඩක් නොකරන්න. ඒක ඔබ සැමගේ සියලු පරම්පරාවලට ඔබ සැමගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක්ය.
32 ඒක ඔබ සැමට ගරුමය නිවාඩුවක් වන සබතක්ය, ඔබ සැමගේ ආත්මවලට දුක්දෙන්න. මාසේ නවවෙනි දින සවස එනම් සවස පටන් සවස දක්වා ඔබ සැමගේ සබත් පවත්වන්න කීසේක.
33 තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
34 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න-මේ සත්වෙනි මස පසළොස්වෙනි දින පටන් සත් දවසක් ස්වාමීන්වහන්සේට කූඩාරම් මංගල්‍යය වන්නේය.
35 පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න. කිසිම බර වැඩක් නොකරන්න.
36 සත් දවසක් ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. අටවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වා ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. එය මංගල්‍ය රැස්වීමක් බැවින් ඔබ සැම කිසිම බර වැඩක් නොකළ යුතුය.
37 ස්වාමීන්වහන්සේගේ සබත්ද ඔබ සැමගේ දානද ඔබ සැමගේ සියලු භාරවල්ද ස්වාමීන්වහන්සේට දෙන ඔබ සැමගේ සියලු සතුටු පඬුරුද ඇර,
38 ඒ ඒ දවසට නියම ලෙස ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන දවන පූජාවක්ද ආහාර පූජාවක්ද යාගයක්ද පාන පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ සභා රැස්වීම් කොට ඔබ සැම විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.
39 ඒ කෙසේ වුවත් දේශයේ අස්වැන්න රැස්කරගත් කල්හි සත්වෙනි මස පසළොස්වෙනි දින පටන් සත් දවසක් ස්වාමීන්වහන්සේගේ මංගල්‍ය පවත්වන්න. පළමුවෙනි දින ගරුමය නිවාඩුවක්ද අටවෙනි දිනත් ගරුමය නිවාඩුවක්ද වන්නේය.
40 පළමුවෙනි දින ලක්ෂණ ගස්වල ඵලද තල් අතුද බොහෝ කොළ ඇති ගස්වල අතුද ගංනළා ගස්ද රැගෙන සත් දවසක් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවෙන්න.
41 අවුරුද්දකට සත් දවසක් එය ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් කොට පවත්වන්න. එය ඔබ සැමගේ පරම්පරාවල නිරන්තර පනතක්ය. සත්වෙනි මාසයේ ඒක පවත්වන්න.
42 මා ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් පැල්වල වාසය කෙරෙවු බව ඔබ සැමගේ පරම්පරාවල අය දැනගන්නා පිණිස සත් දවසක් පැල්වල වාසයකරන්න.
43 ඉශ්‍රායෙල්හි ස්වදේශිකවූ සියල්ලෝ පැල්වල වාසය කෙරෙත්වා. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
44 මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දන්වා දුන්නේය.