නික්මයාම

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40


පරිච්ඡේදය 24

උන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඔබ සහ ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද ස්වාමීන්වහන්සේ වෙතට කන්දට ඇවිත් දුරින් සිට නමස්කාරකරන්න.
2 මෝසෙස් පමණක් ස්වාමීන්වහන්සේ ළඟට එන්නේය; නුමුත් ඔවුන් ළංනොවිය යුතුය; සෙනඟ ඔහු සමඟ නොනැග්ග යුතුයයි කීසේක.
3 මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.
4 මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැඟිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.
5 ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය.
6 මෝසෙස් ලෙයින් දෙකෙන් කොටසක් ගෙන භාජනවල දමා ඉතිරි කොටස පූජාසනය පිට ඉස්සේය.
7 තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමුයයි කීවෝය.
8 එවිට මෝසෙස් ඒ ලේ රැගෙන සෙනඟට ඉසිමින්: මේ සියලු වචන ගැන ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ කළාවූ ගිවිසුමේ ලේ මේ යයි කීවේය.
9 එකල මෝසෙස්ද ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද නැගී ගොස්,
10 ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝය; උන්වහන්සේගේ පාද යට නීලමාණික්‍ය ආස්තරණයක් වැන්නක්ද දීප්තිමත්කමින් අහස්තලයම වැන්නක්ද වූයේය.
11 උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උත්තමයන් පිට අත නොහෙළූසේක, ඔව්හු දෙවියන්වහන්සේ දැකලාත් කා බී සිටියෝය.
12 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටින්න. ඔබ ඔවුන්ට උගන්වන පිණිස මා ලියූ ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද ඔබට දෙන්නෙමියි කීසේක.
13 මෝසෙස්ද ඔහුගේ සේවකවූ යෝෂුවාද නැගිට ගියෝය. මෝසෙස් දෙවියන්වහන්සේගේ කන්දට නැගුණේය.
14 ඔහු වැඩිමහල්ලන්ට කථාකොට: අප ඔබ සැම වෙතට නැවත එනතෙක් මෙහි සිටින්න. මෙන්න, ආරොන් සහ හූර් ඔබ සැම සමඟ සිටිති. යමෙකුට කාරණයක් ඇත්නම් ඔහු ඔවුන් වෙතට පැමිණේවයි කීවේය.
15 මෝසෙස් කන්දට නැගී ගියේය, වලාකුළ කන්ද වසාගත්තේය.
16 ස්වාමීන්වහන්සේගේ තේජස සීනයි කන්දේ පැවතුණේය, වලාකුළ සදවසක් ඒක වසා සිටියාය. සත්වෙනි දින උන්වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූසේක.
17 ස්වාමීන්වහන්සේගේ තේජසේ පෙනීම කන්ද මුදුනේ ඇවිළී යන ගිනි මෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ඇස්වලට පෙනුණේය.
18 මෝසෙස් වලාකුළ මැදට ඇතුල්වී කන්දට නැගුණේය. මෝසෙස් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ සිටියේය.