භීතියෙන් නිදහස


  • ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?...මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක.
    ගීතාවලිය 27:1,5
  • ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.
    ගීතාවලිය 34:4
  • දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය. එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්, එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පාවෙතත් භය නොවන්නෙමුව.
    ගීතාවලිය 46:1-3
  • මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි. මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?
    ගීතාවලිය 56:3,4
  • රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් ඔබ භය නොවන්නෙහිය.
    ගීතාවලිය 91:5,6
  • නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය. -
    හිතෝපදේශ 1:33
  • නුඹ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, නුඹ සැතපුණාම නුඹේ නින්ද මිහිරිවන්නේය.
    හිතෝපදේශ 3:24
  • භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.
    යෙසායා 35:4
  • භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
    යෙසායා 41:10
  • ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.
    යෙරෙමියා 1:8
  • නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.
    ශු. යොහන් 14:27
  • මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.
    රෝම 8:15
  • මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.
    2 තිමෝති 1:7
  • එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.
    හෙබ්රෙනව් 2:14,15]
  • නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ. මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.
    හෙබ්රෙනව් 13:5, 6
  • ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි.
    1 ශු. යොහන් 4:18